Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124

රොට්වයලර්(Rottweiler) බව්වෙක් දැක්කම අපිට දැනෙන පලමු හැඟීම තමයි බය ඒවගේම ශක්තිමත් කියන එක. ඒ කොහොම උනත් රොට්වයලර් කියන්නේ අද වන විට ලෝකයේ ජනප්‍රියම සුරතල් සතෙක්. ඒවගේම මෙයාලා පවුලේ ආරක්ෂකයෙක් විදිහට වැඩ කරන්නත් හරිම දක්ෂයි. ඒකට මෙයාලගෙ ශරීර ශක්තිය වගේම බුද්ධිමත් කමත් ගොඩක් බලපානවා. ඉතින් ඔයා හොයන්නේ ගෙදරට ආරක්ෂකයෙක් වගේම සුරතලෙක්නම් රොට්වයලර් කෙනෙක් ඔයාට ගොඩක් ගැලපෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයාලගේ මේ තීක්ෂණ බුද්ධිය හා ශක්තිය නිසා මෙයාලට ආරක්ෂක අංශ වල සුනඛ බලකා වලත් විශේෂ තැනක් තියෙනවා.
කොහොම උනත් ලෝකේ සමහර රටවල් වල නම් මෙයාලා සුරතලෙක් විදිහට ඇති කරන්න තහනම් කරලයි තියෙන්නේ. එහෙම කරන්න හේතුව තමයි මෙයාලා වෙලාවකට හිතාගන්න බැරිතරම් ගොඩාක් සැරවෙන්න පුලුවන් නිසයි. එහෙම උනොත් මනුස්සයෙක්ට හරි තවත් සතෙකුට හරි තුවාල කරන එක හරිම ලේසියෙන් වෙන්න පුලුවන් දෙයක්. මරණය පවා අත් කරන්න පුලුවන් තරම් මෙයාලා ශක්තිමත්.
හැබැයි එහෙම කියලා බය වෙන්න එපා, රොට්වයලර් බව්වන්ට ආදරයයි අවදානයයි ගොඩක් ඕන. එහෙම ආදරෙන් හැදුවොත් මෙයාල කවදාවත් ගෙදර අයට කිසිම කරදරයක් කරන්නේ නැහැ ඒ වගේම තමයි ගෙදර අයට කවුරු හරි කරදරයක් කරන්න ආවොත් එයාලට වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ…
මෙයාලා කොහොමද මෙච්චර ශක්තිමත් වුනේ. ඒ ගැන දැනගන්නනම් මෙයාලගේ අතීතය ගැන පොඩ්ඩක් හොයලා බලන්නම වෙනවා. රොට්වයලර් බව්වෝ ලෝකයේ ඉන්න පැරණිතම බව් විශේෂ වලින් එකක්. ඔයාලා සමහරවිට අහලත් තියෙන “මස්ටිෆ් (mastiff)” කියන බව් පරම්පරාවෙන් තමයි රොට්වයලර් බව්වෝ පැවතගෙන එන්නේ. මුල්ම කාලයේ රෝමන් වරු එයාලගේ ගවයන් බලාගන්න ඒවගේම මුරපොලවල් මුර කරන්න තමයි මෙයාලව පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ රෝමන්වරු එක්කම ගවයන් දක්කගෙන මෙයාල ජර්මනියට එනවා. එහෙම ආවම ගොඩක් අය මේ බව්වන්න අත හැරලා දාල තියනවා. ඉතින් ජර්මනියට ඇවිත් අතහැරලා දාපු බව්වෝ ඉන්නේ දකුණු ජර්මනියේ රොට්වෙල් කියන නගරයේ. ඉතින් මෙයාලගේ නිජබිම විදිහට සලකන්නෙත් ජර්මනියේ රොට්වෙල් නගරයම තමයි.
ඉතින් මේ බව්වෝ අතීතයේ ඉදලම ගවයන් බලාගන්න, කරත්ත අදින්න, ගෙවල් දොරවල් මුර කරන්න ඒ විතරක් නෙවෙයි සල්ලි අරන් යනකොට ආරක්ෂකයන් විදිහටත් සේවය සපයලා තියෙනවා. ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන්නේ මෙයාල කොච්චර ශක්තිමත්ද කියලා.
දැන් අපි බලමු මේ සුරතලාගෙ විස්තර ටිකක්. රොට්වයලර්(Rottweiler) කියනෙ ටිකක් විශාල සුනඛ විශේෂයක්. මෙයාලගේ ඔලුව, ඇටකටු, කකුල්, මාංශපේශීන් හරිම ශක්තිමත් වගේම ලොකුයි. ඉතින් මෙයාලගෙ බර ගැන කතා කරනකොට පිරිමි සතෙක් කිලෝග්‍රෑම් 38 – 60ත් අතර බරක් තියෙනවා. එතකොට ගැහැණු සතෙක් කිලෝග්‍රෑම් 35 – 45 අතර බරක් තියෙනවා. මෙයාලට කන්න බොන්න දෙන විදිහ, මෙයාලට දෙන විටමින් වර්ග, මෙයාල කොච්චර exercise කරනවද, එතකොට මෙයාලගේ අම්මයි තාත්තයි හොද වර්ගයේ බව්වොද වගේ දේවල් එක්ක මෙයාලගෙ බර වෙනස් වෙනවා. මේ ගැන තව ගොඩක් විස්තර වෙනම ලිපියකින් ගේන්නම්. ඒව කියන්න ගියොත් මේ ලිපිය දිග වැඩි වෙලා ඔයාලට කියවන්න එපා වෙයි.
රොට්වයලර්(Rottweiler) බව්වොන්ගේ උස ගත්තම පිරිමි සතෙක්නම් අගල් 26ක් විතර උස යනවා. එතකොට ගැහැණු සතෙක් උස යන්නේ අගල් 24 ක් විතර. මෙයාලට ජර්මන් ශෙපර්ඩ් ලට වගේ දිග ලොම් නැහැ. ඒ නිසා මෙයාලව පිරිසිදු කරලා ලස්සන කරලා තියන එක හරිම ලේසියි.
මෙයාල ජීවත් වෙන්නේ අවුරුදු 8 – 11 ත් අතර කාලයක්. මෙයාලට තියෙන්නෙ කඩා හැලෙන කන්, ඒවගේම මෙයාල කලු සහ දුඹුරු මිශ්‍ර වර්ණයක් ගන්නවා. එයාලගේ ඇස් වලට උඩින් තියෙන දුඹුරු පාට ලප දෙක මෙයාලටම ආවේනික වුණ ලක්ෂනයක්.
කෑම ගැන කිව්වොත් ඉතින් කෑම කන එකටනම් මෙයාල උපන් හපන්නු. දවසට වේල් තුනක් වගේ මෙයාලට කැම ඕන. ඒ කෑම ගුණ දායක සහ පෝෂණයෙන් වැඩි කෑම වෙනවනම් ඔයාගෙ බව්වාගේ ශරීර සෞඛ්‍යට ඒක ගොඩක් හොඳයි. එහෙම කියලා කවලා විතරක් මදි exercise කරවන්නත් ඕන. නැත්නම් මෙයාලා කම්මැලි වෙලා චබී වෙලා ඉදීවි.
කොහොම උනත් රොට්වයලර්(Rottweiler) කෙනෙක් සුරතලෙක් විදිහට බලාගන්නවා කියන එක ලොකු වගකීමක්. මෙයාලා කොච්චර ශක්තිමත් උනත්, සැර උනත් මෙයාලා හිතින්නම් පුංචි ළමයි වගේ. ඉක්මනට හිත රිද්ද ගන්නවා. කලිනුත් කිව්වා වගේ මෙයාලට ආදරයයි, අවදානයයි ගොඩක් ඕන. සතියක් විතර මෙයාලව පවුලේ අය නැතුව තනියෙන් තියලා යන්නනම් හිතන්නවත් එපා. එහෙම උනොත් මෙයාලට දුක හිතිල ලෙඩ වෙන්න පවා පුලුවන්.
මෙයාලගේ සෞඛ්‍ය ගැනත් අපි අවදානයෙන් ඉන්න ඕන. වෙලාවට vaccine එහෙම දෙන එක අනිවාර්යයි. මැක්කො ඉන්න තැන් වල මෙයාල තියන්න හිතන්න වත් එපා. එයාලට නරක උණ රෝගයක් හැදෙනවා මැක්කොන්ගෙන්. එහෙම හැදුනොත් එයා ඔයාව සදහටම දාල යන්න උනත් ඉඩ තියෙනවා.
මෙයාලව හොඳ පුහුණු කරුවෙක් ලවා පුහුණු කරවන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒකට හේතුවක් තියෙනවා. රොට්වයලර්(Rottweiler) බව්වෙක් කියන්නේ හිතෙන් සහ ශරීරයෙන් කියන දෙකෙන්ම බොඩි ගාර්ඩ්ලා. ඉතින් මෙයාලා දිවි හිමියෙන් තමගේ ස්වාමියා ඇතුලු පවුලේ අයව රකිනවා. තමන්ගේ අය වෙනුවෙන් මැරෙන්න පවා ලෑස්තියි(එහෙම ඇහෙනකොට මිනිස්සුන්ට වඩා බව්වො කොච්චර හොඳද කියලා හිතෙනවා නේද?). ඒ නිසා පුංචි සිදුවීමකදි උනත් මෙයාලා ඉක්මනට කලබල වෙලා ක්‍රියාත්මක වෙනවා.
උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ ඔන්න ඔයා බව්වව අරන් යනවා පොඩි walk එකකට. එතකොට තවත් කෙනෙක් එනවා එයාගෙ බව්වා එක්ක. ඉතින් මේ වගේ වෙලාවක වැරදිලා හරි අනිත් බව්වා ඔයාගේ ස්වාමියා පැත්තට නිකන් හෝ ගෙරෙව්වොත් ඒ බව්වාගේ අවසානේ තමයි. ඉතින් එහෙම වෙන එක එච්චර හොඳ දෙයක් නොවන නිසා අපිට සිද්ද වෙනවා අපේ බව්වාව හොඳ trainer කෙනෙක් ගාවට දාල පුහුණු කරවන්න. එහෙම කරලා එයාව සමාජශීලි කරාම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම වෙලාවක අපි වචනයෙන් දෙන commands වලට එයා අවනත වෙනවා.
ඉතින් රොට්වයලර්(Rottweiler) ගැන අද ලිපියෙන් ඔයාලට මේ සුරතලා ගැන හොඳ අවබෝදයක් එන්න ඇති කියලා මම හිතනවා. මෙයාලා ගැන තව විස්තර ගොඩක් තියෙනවා අපිට කතා කරන්න. හොඳ රොට්වයලර් පැටියෙක් තෝරගන්නේ කොහොමද, මෙයාලට කන්න දෙන්නෙ කොහොමද, වැක්සීන් ගැන, train කරන විදිහ වගේ ගොඩක් ලිපි ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් අපිත් එක්ක රැදිලා ඉන්න. ඊළග ලිපියෙන් හමු වෙමු.