Labrador Retriever – ලැබ්‍රඩෝ රෙට්‍රීවර්

අද අපි කතා කරන්නෙ රෙට්‍රීවර් පවුලෙ තවත් හුරතල් බව්වෙක් ගැන. ඒ තමයි ලැබ්‍රඩෝ රෙට්‍රීවර්(Labrador Retriever). මෙයා ලෝකයේ සුරතල් ම සුනඛ බ්‍රිඩ් එකක් කිව්වොත් හරි. ඒ වගේ ම, මේ වෙද්දි AKG rankingවල පළවෙනි තැන ගන්නත්, බව් පැටියෙක්ට රු. 65,000ත් 125,000ත් අතර මිලක් ගන්නත් Labrador Retriever ලා සමත් වෙලා තියෙනවා. කෙටියෙන් ම කිව්වොත් මෙයාලා ඉක්මනින් ම දේවල් ඉගෙනගන්න, හරි ම ක්‍රියාශීලී, සුහදශීලී,  මිත්‍රශීලී, අව්‍යාජ ආදරණීය බව්වෙක්…

Labrador Retriever

ඉතිහාසය (History)

 1800 ශතවර්ෂයේ කැනඩාවෙ දි බිහිවුණු බව් බ්‍රිඩ් එකක් විදිහට තමයි Labrador Retrieverලා ව හඳුන්වන්නෙ.  අතීතයේ දී මෙයාලා දඩයක්කාරයො එක්ක හුඟක් සමීපව වැඩ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට දඩයම් කරන කුරුල්ලො එහෙම බිමට වැටුණාම මෙයාලා තමයිලු ඒ කුරුල්ලව දත් පාරවල් වදින්නෙ නැති විදිහට ගෙනත් දීලා  තියෙන්නෙ. රෙට්‍රීවර් කියන නමේ තේරුම ම ගෙනත් දෙනවා කියන එකනේ…

හැඩරුව (Body details)

ලැබ්‍රඩෝ රෙට්‍රීවර් බ්‍රිඩ් එකේ Black, Chocolate, Yellow වගේ පාට තුනක් බලාගන්න පුලවන්. හැබැයි මේ අතරින් Chocolate පාට ලැබ්‍රඩෝලට අනිත් පාටවල ලැබ්‍රඩෝ බව්වන්ට වඩා 10%කින් ආයු කාලය අඩු බව සමහර පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා.

පහළට කඩා හැලුණු කන් තියෙන මෙයාලාගෙ නහය කලු හා දුඹුරු වගේ පාටවල් තමයි ගන්නෙ. ඇස් දුඹුරු, ලා දුඹුරු වගේ පාටින් පිහිටන්නෙ. ඒ වගේ ම යි මෙයාලා හුඟක් විශාල නොවුණත් සාමාන්‍යය විශාල සිරුරකට උරුමකම් කියනවා. ලැබ්‍රඩෝ රෙට්‍රීවර්ලාගෙ ලොම් ගැන කිව්වොත් ඒවා කෙටි ලොම් ස්ථරයක් වගේ තමයි තියෙන්නෙ. ඒ වගේ ම යි තරමක් දිග, තරමක් පළල වලිගයක් මෙයාලට හිමියි.

ලැබ්‍රඩෝ ගැහැණු බව්වෙක්ගෙ උස 55cmත් 62cm අතර වෙද්දි පිරිමි ලැබ්‍රඩෝ බව්වෙක්ගෙ උස 57cmත් 62cmත් අතර ප්‍රමාණයක් ගන්නවා. ලැබ්‍රඩෝ ගැහැණු බව්වෙක්ගෙ බර 25Kgත් 32Kgත් අතර වෙනවා. ලැබ්‍රඩෝ පිරිමි බව්වෙත් 29Kgත් 36Kgත් අතර ප්‍රමාණයක බරක් දරනවා.

ඒ වගේ ම යි මෙයාලට හොඳ ශරීර ශක්තියකුත් තියෙනවා. ලැබ්‍රඩෝ බව්වෙක්ගෙ ආයු කාලය අවුරුදු 12ක් වගේ කාලයක් ගන්නවා. ඒ කියන්නෙ සුනඛ අවුරුදු වලින් නම් අවුරුදු 91ක්.

කෑම සහ ව්‍යායාම (Food & Exercises)

ටිකක් වැඩිපුර කෑමවලට කෑදර බව් විශේෂයක් මේ ලැබ්‍රඩෝ බව්ස්ලා. ඒ නිසා ම ටිකක් වැඩිපුරත් කෑම දෙන්න වෙනවා. ඒත් පුංචි කාලෙ ඉඳලා ම අවශ්‍යය ප්‍රමාණයට විතරක් කෑම දෙන්න පුරුදු කරගත්තොත් මෙයාලා වැඩිපුර කෑම ඉල්ලලා කරදර කරන එකක් නම් නැ. කොහොමත් අවශ්‍යය ප්‍රමාණයට විතරක් මෙයාලට කෑම දෙන එක බව්ස්ලාගෙ සෞඛ්‍යයට උනත් හොඳයි. නැත්තන් ඉතින් පරම්පරාවෙන් ම ඒ කියන්නෙ උපතින් ම උරුමක් විදිහට ලැබුණු දෙයක් වෙච්ච තරබාරුකමට ඔයාගෙ බව්වත් ගොදුරුවෙන්න තියෙන ඉඩ හොඳට ම වැඩියි. බව් විශේෂ අතරින් හරි ම ඉක්මනට මහත් වෙන වැඩි ම සම්භාවිතාවක් උරුම කරන් ඉන්න කප් එක ගහලා තීන්නෙත් මෙයාලා ම තමයි.ඒ නිසා එයාලට ව්‍යායාම කියන දේ අනිවාර්යයි කියලා ඔයාලට තේරෙනවානෙ… දවසකට අවම වශයෙන් විනාඩි 45ක් වගේවත් මෙයාලට ව්‍යායාම කරවන්න ඕනි. ඒත් එක්ක ම මෙයාලාගෙ අයිතිකාරයටත් බෝනස් එකක් ලැබෙනවා. ඒ මොකක්ද? ඇයි මෙයා එක්ක ඇවිදිද්දි, දුවද්දි, සෙල්ලම් කරද්දි ඔයාගෙ බරත් ඉබේට ම අඩුවෙනවානෙ.

ගතිගුණ සහ හැකියාවන් (Abilities & Personalities) 

මම කලිනුත් කිව්වනේ ලැබ්‍රඩෝ රෙට්‍රීවර් කියන්නෙ හරි ම කරුණාවන්ත බව්වෙක් කියලා. ඉතින් ඇත්තට ම ලැබ්‍රඩෝ බව්ස්ලාගේ තියෙන කරුණාවන්තකම නිසා ම හුඟක් ආබාධිත පුද්ගලයින් තමන්ගෙ සමහරක් වැඩවලට මෙයාලගෙ උදව් ලබාගන්නවා. ඒ වගේ ම යි, ලැබ්‍රඩෝ රෙට්‍රීවර්ලට හොඳ ඉවසීමක් තියෙනවා. මෙයාලා තමන්ගෙ ස්වාමියා සතුටු කරන්න ඕනි ම දෙයක් කරන බව්වෙක්. ඒ වගේ ම, මෙයාලා අභියෝග භාර ගන්නත් හරි ම කැමති බව්වො ජාතියක්. ඒකයි මෙයාලට train කරන එක හරි ම ලේසි වෙන්නෙ. මොකද ස්වාමියාව සතුටු කරන්න තියෙන වුවමනාවයි, අභියෝග භාරගන්න තියෙන උනන්දුවයි නිසා මෙයාලා හරි ඉක්මනට දේවල් ඉගෙනගන්නවා. ලැබ්‍රඩෝ බව්ස්ලාට දේවල් train කරන්න සති දෙකක් වගේ හරි ම පුංචි කාලයක් තමයි ගතවෙන්නෙ.

ඒ වගේ ම යි ලැබ්‍රඩෝ බව්ස්ලා තමන්ගෙ ස්වාමියාට හරි ම විශ්වාසවන්තව ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ලැබ්‍රඩෝලාට තියුණු ඉවක් තියෙනවා. මේ තියුණු බව නිසා ම පොලීසියෙ විවිධ වැඩවලටත් මෙයාලගෙ සහය ලබාගන්නවා.

විනීත සහ ආචාරශීලී බවින් උඩින් ම ඉන්න බව්වො ජාතියක් තමයි ලැබ්‍රඩෝ රෙට්‍රීවර් කියන්නෙ. ඔයාගෙ ගෙදරටත් විශ්වාසවන්ත, ආදරණීය හුරතලෙක් ඕනි නම් හරියන ම කෙනා තමයි ලැබ්‍රඩෝ රෙට්‍රීවර් කියන්නෙ. මොකද, මෙයා හැමෝම එක්ක හරි ම ඉක්මනට යාලුවෙන බව්වෙක්. කාත් එක්ක ම හරි හොඳට සෙල්ලම් කරන්න තියෙනවානන් මෙයාට වෙන මොකුත් ඕනි නැහැ. ලෙඩක්, තුවාලයක් නැත්නම් මෙයාලා එක තැනකට වෙලා ඉන්නවා දකින්න ම නැති තරම් දාංගලයක් තමයි ලැබ්‍රඩෝ බව්වන්ට තියෙන්නෙ. ඒ නිසා ම මෙයාලා ඉන්න තැන හරි ම ජීවී බවක් දැනෙනවා. ඔයා මොන ප්‍රශ්නෙක ඉඳියත් ඒ හැම ප්‍රශ්නයක් ම අමතක කරලා දාන්න මේ හුරතලාට හරි ම පුංචි වෙලාවයි යන්නෙ.

ලැබ්‍රඩෝ බව්වොන් ව ආරක්ෂාවට හදනවාට වඩා හුඟක් ම හොඳයි හුරතලෙක් විදිහට හදන එක. මොකද, මෙයාලා සෙල්ලම් කරන්නයි, අනිත් අය එක්ක ඉක්මනට යාලුවෙන්නයි හරි ම දක්ෂ නිසා. හැබැයි සැර නැත්තෙමත් නැ. මෙයාලාව පුංචි කාලෙ ඉඳලා සැර නැති විදිහට හැදුවොත් ලොකු උනාමත් පුංචි එකෙක් වගේ ම හුරතලේට නට නට ඉඳීවි. හැබැයි ටිකක් සැර විදිහට ඉන්න පුරුදු කළොත් සමහර විට සැරට ඉන්නත් පුලුවන්. ඒ කොහොම උනත් මේ බව්ස්ලාව හුරතලේට හදන එක තමයි හොඳ ම දේ වෙන්නෙ.

Labrador Retriever Chocolate ColorLabrador Retriever Chocolate Color

ලැබ්‍රඩෝ බව්වෙක් ඉන්න ගෙදරක තව හුරතල්ලු ඕනි තරම් ප්‍රමාණයක් හදන්න පුලුවන්. මෙයාගෙන් ඒකට කිසි ම  බාධාවක් නැහැ. මෙයාගෙන් වෙන්න පුලුවන් එක ම දේ එයාලා එක්ක එකතු වෙලා ගේ පෙරළෙන්න සෙල්ලම් කරන එක විතරමයි. මොකද ලැබ්‍රඩෝ කියන්නෙ අනිත් සත්තු එළවලා දාන, රණ්ඩු වෙන බව්වෙක් නෙමෙයි නිසා. එයා ඕන කෙනෙක් එක්ක හරි ම ඉක්මනට යාලුවෙන මිත්‍රශීලී බව්වෙක්.

ලැබ්‍රඩෝ බව්වන්ගෙ ඇඟිලි පිහිටලා තියෙන විදිහ හරි විශේෂයි. පීනන්න පුලුවන් විදිහට තමයි මෙයාලගෙ ඇඟිලි පිහිටලා තියෙන්නෙ. ඒ නිසා ම මෙයාලට උපතින් ම පිහිනීමේ හැකියාවත් ලැබිලා තියෙනවා. ඒ වගේ ම යි  හරි ම බුද්ධිමත් ලැබ්‍රඩෝ බව්වොන්ට සීතල දරාගන්න පුලුවන් හැකියාවකුත් තියෙනවා. මේ නිසා ම ජීවිතාරක්ෂක කටයුතුවලටත් මෙයාලාගෙ උදව් ලබාගන්නවා.  

ඉතින් මේ වගේ ම රෙට්‍රීවර් බව් පවුලේ අනිත් බව්වො ගැන කතා කරන තවත් ලිපියකින් හමුවෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *