Pembroke Welsh Corgi – කොර්ගි

හුරුබුහුටි සුරතලෙක් කියන්නෙ අපි කාටත්   හිත නිවන බැඳීමක්.ඒ නිසාම  අදත් අපි  කතාකරන්නෙ සුනඛ ලොවේ හැඩකාර රුවැත්තියක් ගැනයි.හරිම ක්‍රියාශීලී වගේම ජවසම්පන්න Welsh Corgi නැත්නම් Pembroke Corgi කියන්නෙ සුරතල් සුනඛ විශේෂයක්. Pembroke Welsh Corgi බව්වෙක්  කියන්නෙම බොහොම හැඩකාර විසේකාර සුරතලියක් කිව්වොත් නිවැරදියි.

Pembroke Welsh Corgi

ඉතිහාසය (History)

ඉතින් මේ කෝර්ගි බව්වො ගැන කියද්දි නම් ප්‍රධාන ප්‍රභේද දෙකක් මුණගැහෙනවා.ඒ තමයි 

  1. Pembroke corgi
  2. Cardigan corgi

මුල්කාලීනව එකම වර්ගයක් විදියට සැලකුවත් කාලයාගේ ඇවෑමෙන් මෙම වර්ග දෙක වෙන්වීමක් සිදුවෙනවා.කෝර්ගි බව්වන්ගෙ ඉතිහාසය ගැන නම් පුදුම හිතෙන කතා ගොඩක් තියෙනවා.අහන්නකෝ ඉතින් මේ කතාව.සියවස් ගණනාවකට උඩින් මිනිස්සු  පේෂකර්ම කටයුතු සඳහා වේල්ස් ප්‍රදේශයේ පදිංචියට යන අවස්ථාවේ මිනිසුන් එක්කම මේ සුනඛයන් රැගෙන ආ බව එක මතයක්.ඒ නිසාම එයාලව වේල්ස් කෝර්ගි කියලා හඳුන්වනවා කිව්වොත් නිවැරදියි.

පුරාණ ප්‍රබන්ධ කතාවක නම් කෝර්ගි බව්වො ගැන කියන්නෙ වෙනස් කතාවක්. “එක දවසක් පුංචි ළමයි දෙන්නෙක් වනන්තරේ මැදින් දුවගෙන යද්දි වැලපෙමින් ඉන්න සුරංගනාවියො පිරිසක් මේ ළමයි දෙන්නට කුඩා කෝර්ගි බලු පැටවුන් දෙන්නෙක් දුන්නලු.ළමයි මේ බලු පැටව් දෙන්නව ගෙදර අරන් ගියාලු” ඉතින් එදා ඉදන් මේ කෝර්ගි බව්වො ගොඩක් ජනප්‍රිය වුණාලු.ඒ වගේම මිනිස්සු සුනඛයන් ඇතිකරන්න කලින් සුරංගනා කතා සඳහා කෝර්ගි බව්වන් යුද අශ්වයන්ගේ භූමිකාව ඉටු කළ බවක් කතන්දර වලින් කියවෙනවා.කොහොම වුණත් අශ්ව ජවයක් වගේම සුරංගනාවියෙක්ගෙ හැඩකාර පෙනුම නම් තාමත් කෝර්ගි බව්වන්ගෙ පේන්න තියෙනවා.එහෙම නේද යාලුවනේ…

කොහොම වුණත් අතීතයෙ නම් මේ සුනඛ විශේෂය “සතුන් රැකබලා ගැනීමට” යොදාගත් බව තවත් ජනප්‍රිය මතයක්.දක්ෂ වගේම වඩාත් වේඟවත් සුනඛයෙක් වීම නිසා අතීතයේ සත්ත්ව ගොවිපොළ ආශ්‍රිතව බැටළුවන්,එළදෙනුන්,කුකුළන් වැනි සත්ත්ව රංචු රැකබලා ගැනීමට මොවුන් යෙදවූ බව කියවෙනවා.රංචුවේ එක් බැටළුවෙක් හෝ රංචුවෙන් විතැන්ව ඈතට ගියොත් නම් කෝර්ගි ඔහු ලුහුබැඳ ගොස් නැවත රංචුව කරා එක් කිරීමට තරම් වන ආරක්ෂකයෙක් බව කියවෙනවා.ඒ වගේම අතීතයේ පෝනියන් පවා බලාගන්නට කෝර්ගි බව්වන් ප්‍රයෝජනවත් වූ බව සඳහන්වෙනවා.

පෙම්බෝර්ක් වේල්ස් කෝර්ගි(Pembroke Welsh Corgi) ගැන කතාකරද්දි අපිට මඟහරින්නට බැරි අනෙක් කතාව තමයි “රාජකීය සුරතලෙක්” කියන එක.රෝයල් පෙට් කෙනෙක් නැත්නම් බ්‍රිතාන්‍ය රාජකීයයන් අතර බෙහෙවින් ජනප්‍රිය සුනඛ විශේෂයක් විදියට කෝර්ගි බව්වො හඳුන්වන්න පුලුවන්.විශේෂයෙන්ම දෙවන එළිසබෙත් රැජින  සුරතලුන් ලෙස කෝර්ගි බව්වන් වැඩියෙන් ප්‍රිය කළ බව කියවෙනවා.වර්ෂ ගණනාවක් පුරාවට රාජකීය පවුලේ කෝර්ගි සුරතලුන් වෙනුවෙන් වැඩි රුචිකත්වයක් තිබුණා කියලා තමයි කියන්නෙ.අදටත් මේ නිසාම ඉහළ පංතියේ පවුල්වල මෙම කෝර්ගි සුරතලුන් වැඩි ඉල්ලුමක් වගේම ජනප්‍රියත්වයක් ගන්නවා.

විසිවන සියවසේ මුල් භාගයේදී මෙම සුනඛයන් ඇමරිකා එක්සත් ජනපදයේ New York, Boston, Los Angeles, San Francisco වැනි නඟරවල වඩා ජනප්‍රිය වුණා.එහිදී  “corgi meetup” යනුවෙන් සිය ගණන් බල්ලන් සහ ඔවුනගේ හිමිකරුවන් වාර්ෂිකව එක්වන්න දිනයක් යොදාගෙන තිබුණා.ඒ තරමට මේ බව්වන්ගේ ජනප්‍රියත්වය ඉහළ මට්ටමක පැවතුණා.අදවන විට ලෝකයේ සුරතල් සුනඛ විශේෂයක් විදියට වේල්ස් කෝර්ගි බව්වන් ඉහළ මට්ටමක පසුවෙනවා.විශේෂයෙන්ම අද වෙද්දි නම් බොබ් වලිගය සහ බට් හාර්ට් කට් නිසා මේ කෝර්ගි පැටවුන්ට කාගෙත් අවධානය යොමු වෙලා තියෙනවා.ඊට අමතරව ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව බුද්ධිමත් බවින් 11 වෙනි ස්ථානය ගන්නවා.

හැඩරුව (Body details)

වේල්ස් කෝර්ගි බව්වන්ගෙ පෙනුම එයාගෙ ශරීරයේ විස්තර ගැන කියද්දි  ඉතින් මෙයාලා උසින් නම් ටිකක් අඩුයි.ඒ නිසාම වැඩි හුරුබුහුටිකමකුත් තියෙනවා.දැන් අපි බලමු වේල්ස් කෝර්ගි බව්වන්ගේ සාමාන්‍ය පෙනුම මොනවගේද කියලා..

මෙයාලා උසින් සාමාන්‍යයෙන් 25-30 cm ත් අතර වෙනවා.බර ගැන සලකාබැලීමේදී පිරිමි සතෙක් නම් 13-15kg ප්‍රමාණයකුත් ගැහැනු සතෙක් නම් 10-12 kg පමණ වෙනවා.ඇස් කුඩා නොගැඹුරු ලෙස පිහිටනවා.දිව දිගු දීප්තිමත් රෝස පැහැයක් ගන්නවා.ඉතාම කෙටි කකුල් තමයි තියන්නෙ.

ඒ වගේම මෙයාලගේ වර්ණය ගැන අවධානය යොමුකළොත් fawn, black & tan, black & white, red jable වගේ වර්ණයන් දකින්න පුලුවන්.පෙනුම ගැන කියනව නම් පිටතින් නරියාට සමාන පෙනුමක් තමයි තියෙන්නෙ.තරමක් දිගටි විශාල කන් පිහිටන අතරම කන්වල හැඩය ත්‍රිකෝණාකාර වෙනවා..කකුල් ඉතා ශක්තිමත්.කොහොම වුණත් හුරුබුහුටි පෙනුම නිසා වැඩි ආකර්ශනයක් දිනාගන්නවා.

වේල්ස් කෝර්ගි(Pembroke Welsh Corgi) බව්වෙක් නම් double coated බව්වෙක් කිව්වොත් හරි.ඒ කියන්නෙ ලෝම ස්තර දෙකක් දකින්න පුලුවන්.ලෝම මධ්‍යම දිගකින් සමන්විතයි.ඒවා ඝනව වැවෙනවා.සිනිඳු ලෝම දකින්න පුලුවන්.කාලගුණික හේතූන්ට ඔරොත්තු දෙන්න තමයි මේ ස්තර දෙකක පිහිටීම කෝර්ගි බව්වන් සතුවෙන්නෙ .ලෝම නිසි පරිදි නඩත්තුව වඩා වැදගත්.ඒ නිසාම නිතර පීරන්න,පිරිසිදු කරන්න සිදුවෙනවා.ආයු අපේක්ෂාව වසර 12-15  අතර වෙනවා.

කෑම සහ ව්‍යායාම (Food & Exercises)

ආහාර සහ ව්‍යායාම ගැන මතක් කළොත් අනෙක් සුනඛයින්ට මෙන්ම ස්වාභාවික ආහාර ලබාදීම ප්‍රමාණවත්.හොඳ වර්ගයේ පෝෂක අඩංගු සතුන් වෙනුවෙන්ම සකසන ලද ආහාර ලබා දීමත් සුදුසුයි.ලබා දියයුතු ආහාර ප්‍රමාණය වයස අනුව වෙනස් වෙනවා.සාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් සහිත වැඩිහිටි සුනඛයෙකුට දිනකට වියළි ආහාර 150-300 g අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ආහාර රටාවක් අනුගමනය කිරීම වඩා වැදගත්.පිපාසය ඇති නොවන පරිදි නිතරම  පිරිසිදු ජලය පානයට ඉඩ දිය යුතු වෙනවා.

දත් මැදීම  අවම වශයෙන් සතියකට දෙවරක් වත් කළයුතු වෙනවා.ස්නානය සඳහා හුරුකරවීමත් අත්‍යවශ්‍ය වෙනවා.අපිරිසිදු ලෝම,ලිහිල් ලෝම අඛණ්ඩව පීරා පිරිසිදු කිරීම ඉතා වැදගත්.බුරුසුව සුරතලාට හුරුකරමින් උගේ ශරීරයේ ස්පර්ශ කිරීම මඟින් ඔහුට සමීප කරවීම වැදගත්.එමඟින් සෞඛ්‍යාරක්ෂිත පිරිසිඳු බව්වෙක් නඩත්තු කිරීමේ හැකියාව පවතිනවා.

ශාරීරික සහ මානසික ව්‍යායාම ඉතාමත් වැදගත් අංගයක්.දෛනික ඇවිදීම වගේම නිතරම කෝර්ගි බව්වත් සමඟ කෙරෙන සෙල්ලම් ඔහුගේ ශාරීරික සමබරතාවට ත් මානසික සුවතාවට ත් වැදගත්.නිතරම අන් අයගේ අවධානය දිනා ගැනීමේ අරමුණින් ක්‍රියාකරන කෝර්ගි බව්වන්ට මෙම විනෝදජනක සෙල්ලම් හොද උත්තේජනයක් සපයනවා.බෝලයක් සමඟ හෝ අන්තර්ක්‍රියාකාරී සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමට සැලැස්වීම වැදගත්.කෝර්ගි බව්වන් ඉතාමත් බුද්ධිමත් අභිජනනයක් නිසා වැඩි අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරනවා.

ඕනෑම වෙලාවක තම පවුලේ අය සමඟ වැඩකිරීමට,විනෝදවීමට සූදානම් බව්වෙක්.කෝර්ගි බව්වන් පුහුණු කිරීමේ කටයුතු ඉතාම වැදගත්.නිවසේදී හෝ උද්‍යානයකදී විනෝද චාරිකාවක දී මෙම පුහුණුකිරීම් ක්‍රියාකාරකම් කිරීම හොද විකල්පයක්.මොකද සුරතලෙක් වුණත් කැමතියි ඒකාකාරී බවෙන් මිදිලා සැහැල්ලුවෙන් නිදැල්ලෙ දුව පනින්න.ඉතින් කෝර්ගි පැටියෙක්ව වඩා හොදින් ප්‍රේරණය කරන්න නම් සඟවා තිබූ ආහාර ත්‍යාග ලෙස ලබා දෙමින් ක්‍රියාකාරකම් පුහුණුකරන්නට පුලුවන්.

කවුරුත් දන්නවනෙ ඔබේ සුරතලාගේ සෞඛ්‍යය ගැන නිතරම අවධානයෙන් සිටිය යුතු වෙනවා.කෝර්ගි බව්වන්ටත් සාමාන්‍ය පරිදි එන්නත් කිරීම් කාලසටහනකට අනුව නිසියාකාරව ලබාදිය යුතුයි.සාමාන්‍යයෙන් monorchidism, von willebrand’s disease, hip dysplasia, degenerative myelopathy වැනි රෝගයන්ට ගොදුරු වෙන්න ඉඩ තියෙනවා.ඊට අමතරව ආවේණික අක්ෂි ආබාධ තත්වයන්ද දකින්න පුලුවන්.නිතරම පශු වෛද්‍යවරයෙක්ට යොමු කිරීමෙන් රෝගී තත්වයන්ගෙන් මිදුණු බව්වෙක්ගේ හිමිකරුවෙක් වෙන්න ඔබට පුලුවන්.

ගතිගුණ සහ හැකියාවන් (Abilities & Personalities) 

සිත් ඇදගන්නාසුලු පෙනුමත් මිත්‍රශීලී ස්වභාවයත් කෝර්ගි බව්වන්ගේ ආදරණීය බවත් නියම සුරතලෙක්ගේ ලක්ෂණ පෙන්නුම්කරනවා.ඒ වගේම විසේකාර වැඩ නම් කෝටියයි.මොකද මෙයාලා ගොඩක් ශක්තිමත් ජවසම්පන්න බව්වො පිරිසක් නිසා. හරිම වේඟවත් බව්වෙක්.ඒ  වගේම ගොඩක් බුද්ධිමත්.ධෛර්‍ය සම්පන්න කඩිසර බව්වෙක්.කුඩා ළමයින් එක්ක වගේම ඕනෑම ආගන්තුක කෙනෙක් සමඟ ඉක්මනින්ම යාලුවෙනවා.කීකරුකම උපරිමයි.ස්වාමියාට වැඩපෙන්වන්නත් මෙයාලා හරිම උනන්දුයි.තමන්ගේ ආදරණීය හිමිකරු වෙනත් කෙනෙක් සමඟ බෙදාගන්න නම් කිසිසේත්ම ලෑස්ති නෑ.ඒ තරමටම ස්වාමියාට ආදරේ කරන බව්වෙක්.ඉතින් යාලුවනේ..මේ හුරුබුහුටි සුරතලිය නම් ඔබේ ලෝකය තවත් වර්ණවත් කරාවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *