German Shepherd – ජර්මන් ශෙපර්ඩ්

කතාවක් තියනවනේ..”අවංකකම මිල අධිකයි ” කියලා..ඔබ සොයන්නේ අවංක විශ්වාසවන්ත හදවතක් නම් මොහොතකට මේ අකුරු පේළිය දිගේ ඇවිත් යන්න.ඔබට හමුවේවි ළඟම හිතවතෙක්.”German shepherd”එහෙම නැත්නම් lion shepherd අද වෙද්දි ලෝකෙ ජනප්‍රියම සුනඛ විශේෂයක්.ඉතින් මේ කතාබහ අවංක,විශ්වාසවන්ත German shepherd සුරතලුන් ගැනයි.

German Shepherd

ඉතිහාසය (History)

අතීතයෙ ඉදන්ම මිනිසාගේ ළගම මිතුරා විදියට සලකන්නෙ සුනඛයින්. German shepherd බව්වන්ගෙ ඉතිහාසය හොයාගෙන යද්දි අපිට රස කතා බොහෝමයක් අහන්න පුලුවන්.ජර්මනිය නිජබිම කරගත් මේ බව්වන්ව shepherd  නමින් හඳුන්වන්නෙ  “එඬේරා” යන අර්ථයෙන්.එහෙම බැලුවොත් මුල් කාලෙ මොවුන්ගෙ රාජකාරිය වුණේ සතුන් රැකබලා ගන්න එක.විශේෂයෙන්ම බැටලු රංචු බලාගන්නලු මෙයාලව යොදාගත්තෙ.ශෙපර්ඩ් බව්වො අතීතයේ සත්ත්ව පාලනයට වගේම ගොවිපළේ සතුන්ගේ ආරක්ෂාවට හොදම ආරක්ෂකයෙක් වුණා.ජර්මන් ශෙපර්ඩ්(German Shepherd) බව්වන්ගෙ බිහිවීම ගැන නම් දිග කතාවක් තියෙනවා.CAPTAIN MAX VON STEPHANITZ නම් ජර්මන් හමුදාවෙ අශ්වාරෝහක නිලධාරියාගේ දායකත්වය මෙහිදී ගොඩක් වැදගත්.ඔහු නගරයෙන් නගරයට ගොස් බැටලුවන් බලා ගැනීමේ නිරතවන විවිධාකාර ශෙපර්ඩ් සුනඛ වර්ග පිළිබඳව අධ්‍යයනය කරනවා.එහිදී ඔහු නිශ්චය කරගන්නවා බැටලුවන් බලාගැනීම සඳහා නිශ්චිත සුනඛ වර්ගයක් නොමැති බව.. ඒ අතරම ඔහුට බර්ලින් හි  සත්ත්ව රෝහලක් සමඟ කටයුතු කරන්නට ලැබෙනවා.එහිදී සුනඛයින් පිළිබඳව විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගන්නවා.ඔහුගෙ අරමුණ එකවර බැටලුවන් 200 පමණ බලාගැනීමට ශක්තිමත් වේඟවත් සුනඛයෙක්  නිර්මාණය කිරීම. එහිදී perfect working dog  සුනඛ වර්ගයක් අභිජනනය කෙරෙයි.

 “ජැක්” නම් සුනඛයා ගැනයි ශෙපර්ඩ් බව්වන්ගේ ඉතිහාසයේ පළමුවැන්නා ලෙස හඳුන්වන්නෙ.ඔහු අළු පැහැති ලෝම ඇති වෘක්කයෙක්ගෙ ස්වරූපය ගත්තා.කාර්මීකරණයත් සමඟ ලෝකය දියුණු වීමෙන් මේ බව්වන්ගේ කාර්යයභාර්‍ය විස්තීර්ණ වුණා.හොද ඉල්ලුමක් සහිතව ආරක්ෂක අංශයන්ගේ කටයුතු සඳහා මෙයාලව යොදාගන්න පටන් ගත්තා.දෙවන ලෝක යුධ සමයේ විශේෂයෙන්ම  ශෙපර්ඩ්ලව යොදාගන්නවා. එහිදී ජර්මනියට සතුරු වුණු බ්‍රිතාන්‍ය මෙයාලව “ජර්මන්” යන නමින් හඳුන්වන්න කැමත්තක් නොදැක්වීම නිසා මෙයාලව “Alsetion” කියලා ඔවුන් විසින් හඳුන්වන්න පටන් ගත්තා.”Alsace – lorraine” යන්නෙන් Alsetion යන්න සැකසුණු බව කියැවෙනවා.බ්‍රිතාන්‍යයේ ත් අයර්ලන්තයේ ත් මොවුන් “ඇල්ශේශන්” නමින් හඳුන්වනවා.

හැඩරුව (Body details)

ජර්මන් ශෙපර්ඩ්(German Shepherd) බව්වන්ගෙ පෙනුම ගැන කතා කළොත් කඩවසම් පෙනුමක් තියෙනවා කිව්වොත් නිවැරදියි. ඒ වගේම බොහොම ආකර්ශනීය ශරීර හැඩයක් සහිත බව්වෙක් .ශක්තිමත් සහ විශ්වාසවන්ත බව ගමන් විලාශයේ පටන් දකින්න පුලුවන්.පුලුල් කකුල් සහ දිගු වලිගය, ශක්‍තිමත් මාංශ පේෂී පිරුණු ශරීරය,මුඛය දිගටි බවත් මේ බව්වන්ගෙ ගාම්බීර ලීලාව තීව්‍ර කරනවා.කන් විශාල ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා.කුඩා කාලයේ පහතට වැටෙන කන් වර්ධනය සමඟ ඉහළට එසවෙනවා.සුනඛ ලොවේ හැඩකාර ශක්තිවන්තයා වගේම ආරක්ෂකයා ත් වෙනවා.ඒ වගේම ආදරණීය සුරතලෙක් ද වෙනවා.ඔහු බුද්ධිමත් පරීක්ෂකයෙක්. ගර්ජනාත්මක හඬ පෞර්ෂයක් සහිත කටකාරයෙක්.සියුම් නිරීක්ෂකයෙක්. විටෙක දරුණු සැපුම් බලයක් සහිත කඩාපනින්නෙක්.

වැඩුණු පිරිමි සතෙක් උසින් 60-65 cm ක් පමණ වන අතර ගැහැනු සතෙක් නම් 55-60 cm පමණ වෙනවා. පිරිමි සතෙක්ගේ බර සාමාන්‍යයෙන් 40-45kg පමණ වෙන්න පුලුවන්.ගැහැනු සතෙක් නම් බර 35-40 kg පමණ වෙනවා.කොහොමත් උසට සරිලන බරින් කඩවසම් බව්වෙක් දකින්න ඕනි නම් ව්‍යායාමත් අවශ්‍යයි. වරෙකට පැටවුන් 4-9 අතර ප්‍රමාණයක් බිහිකරන අතර ආයු කාලය වසර 9-13 අතර වෙනවා.

වර්ණය  ගැන කියද්දිම අපිට මතකයට එන්නෙ.කළු හා දුඹුරු පැහැ මිශ්‍රිත ශෙපර්ඩ් බව්වෙක්.ඊට අමතරව මූලිකව කළු වගේම සුදු (Black G.s and white G.s) පැහැයෙන් දකින්න පුලුවන්. තනි දුඹුරු,කළු දුඹුරු මිශ්‍ර ,කළු සුදු මිශ්‍ර Red & black, Tan & Black… ශෙපර්ඩ් බව්වොත් ඉන්නවා. 

ශෙපර්ඩ් බව්වන්ගෙ(German Shepherd) ලෝම වැස්ම(coat) ස්තර දෙකකින් දැකගන්න පුලුවන්.

  1. මෘදු යටි ලෝම වැස්ම.
  2. යම්තාක් ගොරෝසු උඩු ලෝම වැස්ම 

උඩු ලෝම ස්තරය ජලයට ප්‍රතිරෝධකයක් වගේම කුණු දූවිලි වලින් ආරක්ශා වෙන්නත් හේතු වෙනවා.යට  ස්තරයෙන් යම් පරිවාරක හැකියාවක්ද දරනවා. කෙටි ලොම් හා දිගු ලොම් සහිත වශයෙනුත් යම් වර්ග කිරීමක් දකින්න පුලුවන්.ලංකාවෙ බොහෝදෙනා lion shepherd යනුවෙන් හඳුන්වන්නේ ලෝන්ග් හෙයාර් නැත්නම්  දිගු ලොම් සහිත බව්වන්ට. ඒක නම් වැරදි ව්‍යවහාරයක්.

කෑම සහ සෞඛ්‍ය(Food & Health)

පෝෂණය ගැන කතා කරද්දි ශෙපර්ඩ් බව්වෙක්ට මාස හයට වැඩි බව්වෙක්ට දිනකට ආහාර වේල්  2-3 ප්‍රමාණවත්.ශෙපර්ඩ් පැටවුන්ට දිනකට වේල් 5 පමණ දිය යුතු වෙනවා.ප්‍රෝටීන්,කාබෝහයිඩ්‍රේට් වැනි පෝෂක අත්‍යවශ්‍යයි. ආහාර වශයෙන් මස්,ධාන්‍ය වර්ග,එළවළු ,බිත්තර,චීස්,කිරි,යෝගට් මූලික වශයෙන් දක්වන්න පුලුවන්.චොක්ලට් සහ සුදු ලූණු අනවශ්‍ය ලෙස ශරීරගත වීම ශෙපර්ඩ් බව්වන්ට අහිතකර බවයි බහුතර මතය. ඒ වගේම තමයි විටමින් නිසි අයුරින් ලබාදීමත් අත්‍යවශ්‍යයි.

ළදරු ශෙපර්ඩ් බව්වෙක්ට දින 40-45 ඇතුළත CPV එන්නත ලබාදිය යුතු අතර නියමිත දිනට Adenovirus Type 2 Vaccine මෙන්ම වසරක් පාසා Rabisin එන්නත්කරණය වඩා වැදගත්.කිනිතුල්ලන් හා මැක්කන්ගෙන් ආරක්ෂා සහිතව තබාගැනීමත් වැදගත්.ලෝම වැස්ම නිතර පීරා පිරිසිදු කිරීම සෞඛ්‍ය සම්පන්න ශෙපර්ඩ් බව්වෙක්ගේ සාඩම්බර හිමිකරුවෙක් වෙන්නට ඔබටත් මඟ කියාවි.නිතර ව්‍යායාම කටයුතු,පුංචි වෝක් එකක්, බෝලයක් සමඟ කරන පුංචි ක්‍රීඩාවකට යොමු කරන්නත් අමතක කරන්න එපා.

ගතිගුණ සහ හැකියාවන් (Abilities & Personalities)

අද වනවිට ලෝකයේ ජනප්‍රියතම සුනඛ විශේෂය විදියට ජර්මන් ශෙපර්ඩ්ලව සලකනවා.(G.S.D) අපි දන්නවනෙ විශේෂයෙන්ම  බොහොමයක් පොලිස් නිල සුනඛ බලකාය නියෝජනය කරන්නෙත් මේ ශෙපර්ඩ් බව්වො තමයි.ආරක්ෂක අංශවලට වැඩිවශයෙන් යොදාගන්න හේතුව තමයි ශෙපර්ඩ් බව්වන් පුහුණු කිරීමට පහසු වීම හා වැඩියෙන් කීකරුකමක් දැක්වීම.ඒ වගේම මෙයාලා බුද්ධිමත් ශක්තිමත් බව්වො විශේෂයක්.ජර්මන් ශෙපර්ඩ් බව්වො ලෝකයේ දැනට වෙසෙන බව්වන්ගෙන් බුද්ධිමත් බවින් තුන්වෙනි ස්ථානයේ පසුවෙනවා.(Poodle and Border Collie බුද්ධිමත් ම සුනඛයින් වේ. )

යම් ක්‍රියාවක් පස් වතාවක් පුනරාවර්ථව කිරීම තුළින් ( නැවත නැවත කිරීමෙන්) ශෙපර්ඩ් බවුවන් පුහුණු කළ හැකියි.ලබාදෙන නියමයන් පිළිගැනීමේ සම්භාවිතාවය 95% විතර වෙනවා.( කියන දෙයක් අහන හොදම බව්වෙක්)මත්ද්‍රව්‍ය හා පුපුරණ ද්‍රව්‍ය සොයන්න ශෙපර්ඩ්ලව යොදවන අවස්තා නම් ඕනෑ තරම්.ඉව නැමැති සුවිශේෂී හැකියාවෙන් අපරාධ ස්ථානයක විමර්ශන කටයුතු වලදීත්,සැකකරුවන් හඳුනාගැනීමේ කටයුතු වලදීත් සුවිශාල මෙහෙයක් ඉටුකරන බව අපි කවුරුත් දන්නවනෙ.

ඉතින් මේ බවුවෝ නිවැසියන් සමඟ මිත්‍රශීලී වන අතරම ස්වාමියාට පමණක් කීකරුව තමයි වැඩ කරන්නේ.මේ නිසා ඔහු ඔබට අවංක,විශ්වාසවන්ත ළඟම හිතවතෙක් වේවි. ඉතින් ශෙපර්ඩ්ලා ගැන කියන්න තව විස්තර ගොඩක් තියෙනවා. ඒවත් අරන් අපි තවත් ලිපියකින් හමුවෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *