Doberman – ඩොබර්මන්

ලෝකයේ හොඳම ගාර්ඩ් ඩෝග්(Guard Dog) කෙනෙක් වුන ඩොබර්මන් (Doberman) බව්වා ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මෙයාලට “යක්ෂ බල්ලා” කියන අනුවර්ත නාමයත් යොදාගන්නවා. ඒකට හේතුව තමයි මෙයාල ගොඩාක් දරුණු, ශක්තිමත්, ජවසම්පන්න, අවංක ඒ වගේම ලොකේ බව් බ්‍රීඩ් වලින් හොඳින්ම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන බ්‍රීඩ් එකක් වීම. මෙයාල තම ස්වාමියාට ගොඩක් ලැදි බව්වෙක්. තමන්ගේ ස්වාමියා වගේම ස්වාමියාගෙ දේපලත් ආරක්ෂා කරන්න මෙයා දිවිහිමියෙන් කැප වෙලා ඉන්නවා. ඒ නිසාම පොඩි අනතුරකදි උනත් වේගයෙන් ක්‍රියාත්මක වෙන්න මෙයාලා පසුබට වෙන්නෙ නැහැ. ඉතින් ඩොබර්මන් කෙනෙක් ගෙදරක ඉන්නවා කියන්නේ ගෙදර ආරක්ෂාවට පුංචි යක්ෂ පැටියෙක් ඉන්නවා වගේ තමයි.

Doberman

ඉතිහාසය (History)

ඩොබර්මන්ගේ මුල් බිම වෙන්නෙ ජර්මනිය. 1880 වගේ කලයේ ජීවත්වුණු ලුයිස් ඩොබර්මන් කියන පුද්ගලයා තමයි මේ ඩොබර්මන්(Doberman) කියන අති විශේෂ බව් බ්‍රීඩ් එකේ පුරෝගාමියා විදිහට ඉන්නේ. ලුයිස් කියන්නෙ බදු එකතු කරන්නෙක්. ඉතින් එයාට මිනිස්සුන්ගෙන් බදු එකතු කරන්න ගමින් ගමට යන්න වුනාලු. එහෙම යනකොට එයා මුදලුත් අරන් යන නිසා එයාගේ සහ සල්ලි වල ආරක්ෂාවට හොඳ ආරක්ෂකයෙක් හිටියනම් හොඳයි කියලා හිතලා තමයි එයා මේ බ්‍රීඩ් එක හදන්නේ.

ඩොබර්මන් කියන්නේ බ්‍රීඩ් ගනනාවක එකතුවක් කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද. ජර්මන් ශෙපර්ඩ්, රොට්වයලර්, ග්‍රේ හවුන්ඩ්, මැන්චෙස්ටර් ටෙරියර් වගේ බ්‍රීඩ් ගනනාවක එකතුවක් විදිහට තමයි අපි දන්න ඩොබර්මන් කියන බ්‍රීඩ් එක හැදිලා තියෙන්නේ. පුදුමයි නේද. ඒ විතරක්ද හිතාගන්න පුලුවන් නේද හැකියාවන් කොච්චර මෙයාගේ ජාන වලම තියෙනවද කියලා.

හැඩරුව (Body details)

මෙයාලා ශරීරයෙන් ටිකක් විශාල බ්‍රීඩ් එකක්. මෙයාලට පළල් පපුවක් වගේම ශක්තිමත් මාංශපේෂීන් පිහිටලා තියෙනවා. ඒ නිසා ඩොබර්මන්ලට(Doberman) වේගෙන් දුවන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මෙයාලට තියෙන්නෙ විශාල දිග හිසක්, මේ කාරණා එකතු වුනාම මෙයාලට එන්නේ කෙනෙක්ව බය කරන්න පුලුවන් විදිහේ පෙනුමක්.  මෙයාලගේ දත් වලට අහුවෙන්න නම් හිතන්නවත් එපා. මෙයාලගේ දත් කතුරක් වගේ, රොට්වයලර් ලගෙත් දත් පිහිටන්නේ ඒ විදිහට. මේ නිසා මෙයාලගෙ Bite force එක ගොඩක් වැඩියි.

ඔයාලා ගොඩක් වෙලාවට දැකලා ඇත්තේ නැට්ට කපපු ඒ වගේම කන් ඉස්සුන ඩොබර්මන්ලව. හැබැයි මෙයාලාගෙ ස්වාභාවිකවම කන් පිහිටලා තියෙන්නෙ එල්ලා වැටෙන විදිහට. ඒ වගේම මේ නැට්ට කපන වැඩේ දැන්නම් එච්චරම පිළිගන්න වැඩක් නෙවෙයි. මෙයාලගේ සම්පුර්ණ නැට්ට සහ ස්වභාවයෙන්ම එල්ලා වැටෙන කන් නැත්නම් FCI සහ IDC  වගේ Dog Shows වලට සහභාගීවෙන එකනම් කරන්න බැරි වෙනවා.

ඉතින් මෙයාලගේ වර්ණ ගැන බලනකොට, මෙයාලව වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ කලු සහ දුඹුරු මිශ්‍ර වර්ණයකින්. හැබැයි මෙයාලා දුඹුරු, රතු සහ කහ වර්ණ වලට හුරු පාට වලිනුත් අපිට දැක ගන්නට පුලුවන්.

ඩොබර්මන්(Doberman) පිරිමි බව්වෙක්ගේ උස 68cm ත් 72cm අගයක් ගද්දී ගැහැණු බව්වෙකුගේ උස සෙන්ටිමීටර් 63 ත් 68ත් අතර අගයක් ගන්නවා. ඒ වගේම මෙයාලගෙ බර ගත්තොත්, පිරිමි බව්වෙක් කිලෝග්‍රෑම් 40 – 45 ත් අතර අගයකුත් ගැහැණු බව්වෙක් කිලෝග්‍රෑම් 32-35 ත් අතර අගයක් තමයි වෙන්නේ.

මෙයාලාගේ ආයු කාලය ගැන බැලුවොත් මෙයාලා අවුරුදු 10ත් 13ත් අතර කාලයක් ජීවත් වෙනවා.

කෑම සහ ව්‍යායාම (Food & Exercises)

කෑම ගැන බලනකොට ඩොබර්මන්(Doberman) පොඩි බව්වොන්ටනම් මාස අටක් යනකන් වේල් තුනකට කෑම දෙන්න ඕන. හැබැයි ලොකු උනාමනම් දෙන්න ඕන වේල් දෙකක් විතරයි. කෑම දෙන්න ඕන ප්‍රමාණය එකම බ්‍රීඩ් එකේ උනත් එක එක බව්වාට වෙනස් වෙනවා. ඔයාගේ බව්වා දුවලා, පැනලා ගොඩක් සෙල්ලම් කරලා ඉන්න බව්වෙක්නම් එයාට කෑම වැඩිපුර ඕන වේවි. මෙයාලට දෙන්න ඕන හොඳ ගුණදායක කෑම. ඒ වගේම විටමින් වර්ග ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මෙයාලට දෙන්න ඕන කෑම සහ විටමින් වර්ග ගැන ගැන මම වෙනම ලිපියකින් අරන් එන්නම්, නැත්නම් මේ ලිපිය දිග වැඩි වෙනවා. 

අපි දන්නවානේ ඩොබර්මන්(Doberman) කියන්නේ guard dog කෙනෙක් කියලා. ඉතින් මෙයාලට දිනපතා exercise කරවන්න ඕන. එහෙම කලාම එයාල ශක්තිමත් විදිහට ඉන්නවා. නැත්නම් මෙයාල චුට්ටක් කම්මැලි වෙන්න බලනවා.

ගතිගුණ සහ හැකියාවන් (Abilities & Personalities) 

ඩොබර්මන්ලා කියන්නේ ආරක්ෂාව කියන කාරණය මුල් කරගෙන නිර්මාණය කරපු ඩෝග් බ්‍රීඩ් එකක් කියල අපි මුලදිම කතා කලා. ඉතින් මෙයාලා ගොඩක් ශක්තිමත් වගේම ජවසම්පන්නයි. ඒ වගේම හොඳ තේරුම් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මේ කාරණා නිසාම හමුදා සහ පොලිස් සුනඛ බලකා වලත් මෙයාලට විශේෂ තැනක් හිමි වෙනවා.

කෙනෙක්ට බය හිතෙන්න පුලුවන්නම් මෙයා මෙච්චර දරුණූ බව්වෙක්නම් මේ බ්‍රීඩ් එක ගෙවල් වල හදන්න පුලුවන්ද කියලා. ඇත්තටම පුලුවන්. මෙයාලට පවුලේ බව්වො කියලත් කියනවා. එහෙම කියන්න හේතුවෙලා තියෙන්නේ මෙයාල හරියට train කලොත් ගෙදරට cctv පද්ධතියක්වත් ඕන වෙන්නෙ නැහැ. ඒ වගේම පොඩි ළමයි එක්ක උනත් හරිම විනෝදෙන් ඉන්න මෙයාල දන්නවා. ඒවගේම මෙයාල ගොඩක් බුද්ධිමත්. හොඳට train කරපු ඩොබර්මන්(Doberman) කෙනෙක් තම ස්වාමියාගේ හෝ පවුලේ අයගේ අණට හරිම කීකරුයි. ඒ නිසා මේ බව්වෙක් ගෙදරක හදනවා කියන එක හරිම ලේසියෙන් කරන්න පුලුවන්.

දැන් ඉන්න ඩොබර්මන්ලා මුල් කාල වල හිටපු බව්වො තරම් සැරනම් නැහැ. එයාලව හදලා තියෙන්නෙ එහෙම සැර අඩු වෙන්න තමයි. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැහැ මෙයාලා දැන් guard dog ලා විදිහට වැඩක් නැහැ කියලා. ජාන වලින්ම එන “ආරක්ෂකයා” කියන ලක්ෂණ මෙයාලගේ තුල පිහිටලා තියෙනවා. ඉතින් train කරාම මෙයාල මෙයාලගෙ සුපුරුදු රිද්මයට එනවා. 

ඉතින් ඔයත් guard dog කෙනෙක් ගන්න හිතන් ඉන්නවානම් ඩොබර්මන්(Doberman) ඔයාට හොඳ තෝරාගැනීමක් වේවි. මේ වගේ guard dog ලා ගැන තවත් ලිපි වලින් ඉදිරියේදී හමුවෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *