Shih Tzu – ෂිට්ෂු

අද අපි කතා කරන්නෙ තවත් ආදරණීය, හරි ම හුරතල් බව්වෙක් ගැන. ඒ තමයි බ්‍රිඩ්ස් දෙකක එකතුවකින් නිර්මාණය වෙච්ච AKG rankingවල 20වන ස්ථානය ගන්න සමත් වෙලා ඉන්න Shih Tzu. මොයාලා හරි ම බුද්ධිමත්, හරි ම කරුණාවන්ත, ස්වාමියාට හුඟක් ආදරය කරන බව්වො ජාතියක්. වර්තමානෙ නම්, රුපියල් ලක්ෂ 1යි 20කට වගේ ඔයාට Shih Tzu බව්වෙක්ගෙ අයිතිකාරයෙක් වෙන්න පුලුවන්.

Shih Tzu

ඉතිහාසය (History)

Shih Tzu ලාගෙ ඉතිහාසය ගැන කතා කරද්දි මෙයාලාගෙ ඉතිහාසය ගැන ලොකූ විස්තරයක් සඳහන් වෙලා නොතිබුණත් ජානමය පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා Shih Tzu කියන්නෙ ටිබෙට් ලාමාස්ලා විසින් නිර්මාණය කරපු බ්‍රිඩ් එකක් කියලා. ඒ වගේ ම, ටිබෙට් ලාමාස්වරු චීන අධිරාජ්‍යයට තෑග්ගක් විදිහට මෙයාලාව ප්‍රධානය කිරීමෙන් පස්සෙ තමයිලු ලෝකය පුරා ම මෙයාලා ව ප්‍රසිද්ධ වුණේ. එතකොට Shih Tzu කියන නම ඇති වුණේ කොහොමද? ඒකත් චීන අධිරාජ්‍යයෙන් මෙයාලගෙ මූණෙ තියෙන හැඩය එක්ක දාපු නමක් කියලා තමයි කියන්නෙ. මොකද මෙයාලාගෙ මූණෙ තියෙන ෆර් මලක පෙති වගේනෙ. පුංචි සිංහ පැටියෙක්ගෙ මූණ වගේ, සිංහයෙක්ගෙ අනුරුවක් කියන එක තමයි මේ Shih Tzu කියන නමේ තේරුම. ඒ වගේ ම යි, Shih Tzu බව්වන් ව අතීතයේ දී භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සඳහා තමයි යොදාගෙන තියෙන්නෙ.

Shih Tzu

තවත් විශේෂ ම දෙයක් තමයි චීන ජනතාව අතර අදටත් විශ්වාසයක් තියෙනවා බබාලා ලැබෙන්නෙ නැති ගැහැණු අය මේ Shih Tzu බව්වෙක් අරන් හැදුවොත් ඒ ගැහුණු අයට බබාලා ලැබෙනවා කියන එක. ඉතින් Shih Tzu බව්වෙක් අරන් ආදරෙන් හැදුවොත් ඔයාටත් මේ විශ්වාසේ ඇත්තද කියලා බලන්න පුලුවන්.

හැඩරුව (Body details)

Shih Tzu බව්වන්ගෙ හැඩරුව ගැන කතා කරද්දි, මෙයාලාට දිග ෆර් එකක් තමයි තියෙන්නෙ. සාමාන්‍යෙයන් Shih Tzu කියන්නෙ සීතල පරිසරයෙ හැදෙන්න කැමති සහ සීතල පරිසරයකට උචිත බව්වො ජාතියක්. ඉතින් මෙයාලා ව ලංකාව වගේ රටකට සුදුසු වෙයිද? ඔව්. අනිවාර්යයෙන්… ඔයාට පුලුවන් මෙයාලා ව A/c කාමරයක් ඇතුළෙ හදන්න. ටික ටික මෙයාලා සාමාන්‍යය පරිසරයට පුරුදු වෙයි.

මෙයාලාගෙ ෆර් එක ගැන නම් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. දිනපතාම මෙයාලාගෙ ෆර් එක grooming කරන එක අනිවාර්යය යි. නැත්තන් හරි ඉක්මනට ගැටගැහෙන්න බලනවා ඒක දිග ෆර් එකක් නිසා. ඒ වගේ ම සතියකට එක පාරක් වගේ නාවන්නත් ඕනි. ෆර් එක හරියට හේදුනේ නැති උනොත් නම් ඒ කියන්නේ, ෂැම්පු එයාගේ කෝට් එකේ ඉතුරු උනොත් එහෙම හරි ඉක්මනට රෑෂ් එන්න බලනවා.

Shih Tzu

Shih Tzu කෙනෙක්ගෙ ෆර් එක ලස්සනට දිලිසෙන්න තියාගන්න ඕනි රහසක් කියන්නද? මාසෙකට දෙපාරක් එයාගෙ ෆර් එකේ මී කිරි එක්ක ආමන්ඩ් ඔයිල් හරි ඔලිව් ඔයිල් හරි මිශ්‍ර කරලා ගාලා විනාඩි 45ක් පැයක් වගේ කාලයක් තියලා හෝදලා දාන්න. හරි ම ලස්සනට දිලිසෙන ෆර් එකක් ඔයාට ඔයාගෙ Shih Tzuගෙන් බලාගන්න පුලුවන්. ඒ වගේ ම, මේ සත්කාරයෙන් එයාගෙ හම වේලෙන එකත් නවතිනවා. ෆර් එක ගැලවෙන්න ප්‍රධාන ම හේතුවක් තමයි හම වේලීම. ඉතින් Shih Tzu බව්වෙක්ගෙ ලොම් හරි ඉක්මනට ම ගැලවෙනවා නම් මේ සත්කාරය කරලා බලන්න. එක සත්කාරයකින් ප්‍රතිලාභ දෙකක් ලබා ගන්න පුලුවන් ඔයාට එහෙම උනොත්.

Shih Tzu

Shih Tzu ගැහැණු බව්වෙක් 5-10 KGක් පමණ බර වෙනවා. ඒ වගේ ම යි Shih Tzu පිරිමි බව්වෙක්ගෙ බරත්. මොකද Shih Tzu බ්‍රිඩ් එකේ බව්වොන්ගෙ බර එක සමාන ප්‍රමාණයක් තමයි ගන්නෙ. උසත් ඒ වගේමයි. අඟල් 8ත් 11ත් අතර ප්‍රමාණයකටයි Shih Tzu බව්වො උස යන්නෙ. 

මෙයාලාගෙ ඇස් සාමාන්‍යයෙන් දුඹුරු පාටයි. නහය කලු හෝ දුඹුරු පාටක් ගන්නවා. මෙයාලාගෙ coat color possibilities ගැන කතා කරද්දි, Black, Gray, Brown, Silver, White, Red, Brindle වගේ පාටවල් දක්වන්න පුලුවන්.

කෑම සහ ව්‍යායාම (Food & Exercises)

Shih Tzu බව්වෙක්ට පොඩි කාලෙ දී ඒ කියන්නෙ, මාස 1 ½ක් වගේ යනකන් වතුර දෙන්නෙ නැහැ. මොකද එතකන් එයාලගෙ නහයයි කටයි එකතු වෙලා තියෙන නිසා වතුර දුන්නොත් ඒක එයාට අපහසු වෙන නිසා.

ඒ වගේ ම මෙයාලගෙ කෑම ගැන කතා කළොත් ප්‍රධාන වේල් 3ට අමතර ව වේල් කිහිපයකුත් කෑම දෙන්න පුලුවන්.

Shih Tzu

සාමාන්‍යයෙන් Shih Tzu බව්වෙක්ගෙ කෑම වේල් අතරට ත්‍රිපෝෂ වගේ ආහාරයක් කිරි එක්ක මිශ්‍ර කරලා කන්න දෙන්න පුලුවන් නම් එයාලගෙ කෝට් එක ලස්සනට දිගට හැදෙන්න ගන්නවා. ඒ වගේ ම, එයාගෙ බරත්, ශක්තියත් හරි ඉක්මනට වැඩි වෙනවා. සාමාන්‍යයෙන් Shih Tzu බව්වෙක් එයාගෙ ෆර් ටිකෙන් තමයි මහතට පේන්නෙ. ඒත් ඇත්තට ම එයාගෙ ඇඟ හරි ම කෙට්ටු වෙන්න පුලුවන්. හැබැයි ඔයා ඔයාගෙ Shih Tzu බව්වට මේ කියපු ආහාරය දෙනවා නම් එයාව හරි ම ලස්සන, ශක්තිමත් බෝලයක් වගේ හදාගන්න පුලුවන්.

මෙයාලට මාස 3න් පස්සෙ training පටන්ගන්න එක තමයි සුදුසු ම.  

ගතිගුණ සහ හැකියාවන් (Abilities & Personalities) 

Shih Tzu කියන්නෙ හරි ම ආදරණීය බව්වෙක්. අනිත් බ්‍රිඩ් වගේ මහා ලොකු ඉඩකඩක් මෙයාලාට ඕනි නැහැ. නොටින් ම කිව්වොත් ඔයාට තියෙන්ගෙ වත්තක් නැති ගෙදරක් නම්, ඔයා ඉන්නෙ අපාට්මන්ට් එකක නම් හුරතලේට හදන්න හොඳ ම බව් විශේෂය තමයි Shih Tzu කියන්නෙ. Shih Tzu බව්වො කන්න නැතුව උනත් ඉඳීවි කරදර නොකර. හැබැයි එයාට එයාගෙ ගේ නැතුව නම් ඉන්න බැහැ. එයා හරි ම අකමැති දෙයක් තමයි ගෙදර කැතිව පිට තැන්වල ඉන්න එක.

Shih Tzu

ඒ වගේ ම මන් කිව්වනෙ මෙයාලා හරි ම ආදරණීය බව්වො ජාතියක් කියලා. ඇත්ත. මෙයාලා තමන්ගෙ ස්වාමියාට හරි ම ආදරෙයි. සාමාන්‍යයෙන් Shih Tzu බව්වෙක් අවුරුදු 10ක්  18ක් වගේ කාලයක් තමයි ජීවත් වෙන්නෙ.  හැබැයි මෙයාලා තමන්ගෙ ස්වාමියාට දක්වන ආදරයයි, කරුණාවයි නිසා ම එයාලගේ ජීවත් වෙන කාලයත් වැඩි වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ  විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් Shih Tzu බව්වෙක් අවුරුදු 10ක්  18ක් වගේ කාලයක් තමයි ජීවත් වෙන්නෙ. Shih Tzu කියන්නෙ හරියට ආදරේ බලාපොරොත්තු වෙන බව්වෙක්. පොඩි දරුවෙක්ට වගේ ආදරේ කරන්න, බලාගන්න, ළඟ තියාගන්න හුරතලෙක් හොයනවා නම් ඒකට ගැළපෙනවා බව්වා තමයි Shih Tzu. 

ඉතින් තවත් ආදරණීය, හුරතලුන් එක්ක ඉදිරියෙදීත් අලුත් ලිපියකින් හමුවෙමු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *