Dalmatian – ඩැල්මේෂන්

ලෝකයේ පැරණිතම සුනඛ විශේෂයන්ගෙන් එකක් විදිහට සලකන ඩැල්මේෂන්(Dalmatian) කියන්නෙ සෙල්ලමට හුඟක් බර, මිත්‍රශීලී, ශක්ති සම්පන්න, සංවේදී වගේ ම හුඟක් ක්‍රියාශීලී බව්වො ජාතියක්. අද අපි කතා කරන්න යන්නෙ මෙන්න මේ ඩැල්මේෂන් බව්වො ගැන.    

Dalmatian

ඉතිහාසය (History)

මෙයාලාගේ නිජබිම කොහෙද කියන්න කවුරුත් දන්නෙ නැහැ. හැබැයි හුඟක් අය කියන්නෙ නම් මෙයාලා බිහි වුණේ ක්‍රොඒෂියාවේ ඩැල්මේෂියාව කියන ප්‍රාන්තයේ කියලයි. මෙයාලගෙ නිජබිම වගේ ම ඩැල්මේෂන්ලාගේ සම්භවය පිළිබඳවත් නිවැරදි සාක්ෂි සොයාගැනීමට විද්‍යාඥයින්ට තවමත් හැකියාවක් ලැබිලා නැහැ. ඒ වුණත් මතයක් තියෙනවා Great Daneලාගෙන් තමයි මෙයාලා සම්භවය උනේ කියලා.

අතීතයේ බොහෝ අවස්ථාවල දී අශ්ව කරත්තවල ආරක්ෂාවට සහ අශ්වයන් ගමන් ගන්නා මාර්ගවල ආරක්ෂාවට මෙයාලව යොදාගෙන තියෙනවා. ඒ වගේ ම, ගොවිපල සතුන් ආරක්ෂා කිරීමටත් අතීතයේ දී වගේ ම වර්තමානයේ දී ත් ඩැල්මේෂන්ලව(Dalmatian) යොදාගන්නවා.

හැඩරුව (Body details)

මෙයාලගෙ හැඩරුව ගැන කතා කළොත්, ඩැල්මේෂන්(Dalmatian) කියන්නෙ කෙටි ලෝම ස්ථරයක් සහිත බව්වො විශේෂයක්. මේ නිසා ම මෙයාලව උණුසුම් දේශගුණ තත්වය යටතේ හොඳින් ම හදන්න පුලුවන්. ඒ වගේ ම, මධ්‍යම ප්‍රමාණයේ සාමාන්‍ය මාංශ පේෂි සහිත බව්වො ජාතියක් තමයි මේ ඩැල්මේෂන්ලා.

ඩැල්මේෂන්ලව(Dalmatian) Liver and white, Black and white ලෙස වර්ණ දෙකකින් අපිට දැකගන්න පුලුවන්. මෙයාලා ඉපදෙනකොට නම් ශරීරයේ කලු ලප මොකුත් ම නැතුව තනි සුදු පාටින් යුක්ත වෙනවා. පළමු දින 10 ඇතුළත තමයි මෙයාලාගෙ ශරීරයේ ලප මතුවෙන්න ගන්නෙ. මේ ලප 20mm-60mm ප්‍රමාණයක පරාසයක් දක්වා විශාල වෙනවා. Liver and white ඩැල්මේෂන් බව් පැටියෙක් බිහි කරන්න නම්, ඩැල්මේෂන් මව සහ පියා දෙදෙනාගේ ම ශරීරවල Liver & white color එක තියෙන්න ම ඕනි.

මෙයාලගෙ ඇස්වල විවිධ වර්ණ දැක ගන්න පුලුවන්. ඒ දුඹුරු, දම්, නිල් සහ ඇම්බර් ආදී ලෙසයි. සමහරක් ඩැල්මේෂන්(Dalmatian) බව්වොන්ගේ එක් ඇසක් නිල් පාටිනුත් අනිත් ඇස දුඹුරු පාටිනුත් දැකගන්න පුලුවන්.

ඒ වගේ ම මෙයාලාගෙ කන් හරි ම තුනී සහ හිසට සමීප ව පහළට කඩා වැටිලා තමයි තියෙන්නෙ. ඩැල්මේෂන්(Dalmatian) පිරිමි බව්වෙක් 18Kg- 32Kg අතර බරකුත්, ගැහැනු බව්වෙක් 16Kg- 24Kg අතර බරකුත් ගන්නවා.  ඩැල්මේෂන් පිරිමි බව්වෙක් 58cm- 61cmත් අතර ප්‍රමාණයක් උස යන අතර ඩැල්මේෂන් ගැහැණු බව්වෙක්  56cm- 58cm අතර ප්‍රමාණයකට උස යනවා.

වයස අවුරුදු 10ත් 13ත් අතර කාලයක් ජීවත් වෙන ඩැල්මේෂන්(Dalmatian) බව්වො කියන්නෙ තරමක පිරිසිදු ඩෝග් බ්‍රීඩ් එකක් කියලා තමයි සලකන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ, අනික් බව්වන්ට සාපේක්ෂ ව මෙයාලගෙ ශරීරයේ ඇති අවම තෙල් ප්‍රමාණය නිසා අනික් බව්වන්ට සාපේක්ෂ ව හරි ම අඩු ගන්ධයක් දැනීමයි.

ව්‍යායාම සහ පුහුණුව (Exercises & Training)

ඩැල්මේෂන්(Dalmatian) බව්වො මන් කලිනුත් කිව්වා වගේ හුඟක් ක්‍රියාශීලී ඒ කියන්නෙ හුඟක් ම සෙල්ලමට බර බව්වො ජාතියක්. ඒ නිසා ම, මෙයාලාට හැමදාම හොඳට ව්‍යායාම කරවන්න ඕනි. හැමදාම ව්‍යායාම නොකළොත් නම් ඩැල්මේෂන්(Dalmatian) කෙනෙක්ව පාලනය කරගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්.

ඒ වගේ ම, පොඩි කාලෙ ඉඳලා ම මෙයාලව හොඳට පුහුණු කරන්නත් ඕනි. කියන දේවල් හරි ම ඉක්මනට තේරුම් ගන්න නිසා මෙයාලා ව පුහුණු කරන්නත් හරි ම ලේසියි. ඒ වගේ ම, ඩැල්මේෂන් බව්වෙක් ව පුංචි කාලෙ ඉඳලා ම වෙනත් සතුක් එක්ක එකට හදන්න ඕනි. නැත්තනම් ලොකු උනාම අනිත් සත්තු එක්ක මෙයාලාව එකට තියන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්.

ඩැල්මේෂන් හුඟක් සෙල්ලමට බර බව්වෙක් නිසා ලොකු ගෙවත්තක් සහිත නිවසක තමයි මෙයාලාව හදන්න හොඳ ම තැන. ඒ වගේම, කොච්චර වෙලා සෙල්ලම් කළත් මෙයාලට ඉක්මනින් මහන්සියක් වෙන්නෙ නම් නැහැ. හැබැයි මෙයා එක්ක සෙල්ලම් කරන අනිත් අයට නම් හරි ඉක්මනට මහන්සි දැනෙන්න පුලුවන්.

සෞඛ්‍ය තත්වය (Health)

ඩැල්මේෂන් බව්වොන්ට හුඟක් වෙලාවට බිහිරි බව, ආසාත්මිකතා, වකුගඩු ගල්, මුත්‍රා ගල් වගේ රෝග ඇති වෙන්න පුලුවන්. ඉන් වකුගඩු ගල් හා මුත්‍රා ගල් හුඟක් වෙලාවට වයස අවුරුදු 10ට වැඩි පිරිමි ඩැල්මේෂන් බව්වොන්ට තමයි සෑදෙන්නෙ. ඒ නිසා ඔයාගෙ ඩැල්මේෂන් බව්වා වයසට යනකොට කැල්සියම් ප්‍රමාණය අඩු කරන්න ම ඕනි. එහෙමත් නැත්නම්, වැළැක්වීමේ ඖෂධ ලබා දෙන්න ඕනි.

ඩැල්මේෂන් පැටියෙක් ගන්නකොට එයාගෙ කනේ සංවේදී බව පරීක්ෂා කරලා ගන්න එක හරි ම වැදගත්. මොකද, ඩැල්මේෂන් බව්වොන්ට බිහිරිභාවය ඇති වීමේ සම්භාවිතාවය හුඟක් වැඩි නිසා.

ඒ වගේ ම, ඩැල්මේෂන් බව්වොන්ට යූරික් අම්ලය බිඳ දැමීමේ අපහසුතාවයක් පවතින නිසා රක්තවාතය වැනි තත්වයන් ඇතිවෙන්න පුලුවන්. මේක වළක්වගන්න පුලුවන් හොඳ ම දේ තමයි මස් සහිත ආහාර අඩුවෙන් කෑමවලට ලබාදීම.

නව යොවුන් වියේ දී ගැහැණු සහ පිරිමි බව් දෙපිරිසට ම ආතරයිටිස් වැනි අස්ථි ආබාධ ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. මීට අමතර ව, උකුල් ආබාධත් ඩැල්මේෂන් බව්වන්ට ඇති වීමේ සම්භාවිතාවක් තියෙනවා. මේ නිසා ඔයාගෙ සුරතලාගෙ සෞඛ්‍ය තත්වය පිළිබඳ ටිකක් වැඩි සැලකිල්ලක් දක්වන්න ඔයාට සිද්ධ වෙනවා.

ගතිගුණ සහ හැකියාවන් (Abilities & Personalities) 

ඩැල්මේෂන් කියන්නෙ,විශේෂ දරාගැනීමේ හැකියාවක් සහ ශක්තියක් තියෙන බව්වො ජාතියක්. ඒ වගේ ම, මෙයාට හොඳ දිවීමේ හැකියාවකුත් උපතින් ම පිහිටලා තියෙනවා. අතීතයේ දී වගේ ම වර්තමානයේ දී ත් ගිනි නිවීමේ හමුදාවල බහුල ව භාවිතා කරන සුනඛ විශේෂයක් විදිහටත් මේ ඩැල්මේෂන් බව්වන් ව හඳුන්වන්න පුලුවන්.

ඒ විතරක් නෙමෙයි, මෙයාලා පවුලෙ අයට හරි ම ආදරේ කරන බව්වො ජාතියක්. ඒ නිසා ම, තදින් සැර කිරීම, හිත රිදෙන දෙයක් කිරීමෙන් මෙයාලා ඉක්මනට ම දුකට පත් වෙනවා.

ඩැල්මේෂන් බව් පැටියෙක් මන් කලිනුත් කිව්වා වගේ හරි ම දඟයි. හැබැයි වයසෙන් වැඩෙද්දි ඒ දඟ ගතිය ටිකක් විතර අඩු වෙනවා. ඒ කොහොම උනත් ඔයාගෙ ගෙදර ජීවී ගතිය වැඩි කරන්න මේ බව්වො හරියට උපකාරී වෙනවා එයාලගේ මේ දාංගලේ නිසා ම.

පළවෙනි පාරට බව්වෙක් හදන්න ඉන්න අයට ඩැල්මේෂන් කෙනෙක් ව බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්. මොකද මෙයාලා කියන දේ ඉක්මනට තේරුම් ගන්න, හරි ම කීකරු, හරි ම පහසුවෙන් පුහුණු කරන්න පුලුවන්, ගෙදර අයට හරි ම ආදරේ බව්වෙක් නිසා. ඒ වගේ ම, ඩැල්මේෂන් කියන්නෙ පුංචි දරුවන්ට හරි ම කැමති බව්වො විශේෂයක්. ඒ නිසා පුංචි ළමයි ඉන්න ගෙදරකත් ඩැල්මේෂන් කෙනෙක්ව හුරතලයට හෝ ආරක්ෂාවට හදන්නත් හොඳට ම ගැලපෙනවා.

ඩැල්මේෂන් කෙනෙක් ඔයාගෙ හුරතලා විදිහට හදනවා නම් සැලකිලිමත් වෙන්න ඕනි අනිත් කාරණය තමයි, මෙයාලා කූඩුවල ඉන්න, දම්වැලකින් බැඳලා ඉන්න හරි ම අකමැතියි කියන එක.

ඩැල්මේෂන් කියන්නේ හුරතලා විදිහට වගේ ම, නිවසේ ආරක්ෂකයා විදිහට හදන්න පුලුවන් හරි ම හොඳ බව්වො ජාතියක්.

තවත් සුරතලුන් ගැන වැඩි විස්තර දැනගන්න ඉස්සරහටත් අපිත් එක්ක එකතු වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *