Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124

කතා කරන ඇස්,වරුවක් වුණත් ඔයාගෙ නෝක්කාඩු අහගෙන හෙමීට කෙඳිරිගාන,දවසම ගේ පුරාම දඟකරන පුලුන් බෝලයක්…ඔව්..ඔව්…එයා හරිම කියුට්…චූටි බව්වෙක්.අද අපි කියන්න යන්නේ..සුරතල් සුනඛ වර්ගයට අයත් පොමරේනියන් (Pomeranian) බව්වො ගැනයි.අපේ ව්‍යවහාරයේ නම් පොමනේරියන් නැත්නම් පොම් පොම් කියලත් මෙයාලව හඳුන්වනවා.
ලෝකෙ බොහොමයක් ජනප්‍රිය සුරතල් බව්වො විශේෂයක් විදියට තමයි පොමරේනියන්ලව(Pomeranian) සලකන්නෙ.ඒ වගේම අනතුරු ඇඟවීමේ සුනඛ විශේෂයක්.කොහොම වුණත් පොමරේනියන් කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ හුරතල් පුලුන් බෝලයක් තමයි.ලංකාවෙ අපිට නම් ටිකක් නුහුරු නුපුරුදු මේ පොමරේනියන් නම මෙයාලට ලැබෙන්නෙ මධ්‍යම යුරෝපයෙන්.අද වන විට උතුරු පෝලන්තයේ සහ නැගෙනහිර ජර්මනියෙ කොටසක් වන “පොමරේනියා” ප්‍රදේශය මුල්කරගෙන තමයි මේ බව්වන්ට “පොමරේනියන් ” නම ලැබෙන්නෙ.ආයු කාලය වසර 8-10 අතර වෙනවා.අද ලෝකෙ පුරාම සුරතලෙක් වුණු මොවුන් සමස්තයක් වශයෙන් ශක්තිමත් නිරෝගී සුනඛ වර්ගයක් කියන්න පුලුවන්.
අද වනවිට ශරීර ප්‍රමාණයෙන් කුඩා වුණත් මෙයාලා විශාල “ස්පිට්ස් වංශය”ට අයත් සුනඛ වර්ගයක්.මුල් කාලෙ 7-16 kg බරක් වුණත් අද වෙනකොට 1-3.5 kg බරක් තමයි මේ බව්වන්ගෙ තියෙන්නෙ.උසින් 18-30 cm ප්‍රමාණයක් වෙන්න පුලුවන්.මුල් කාලෙ විශාල වුණත් ජාන විපර්යාසයකින් ශරීර ප්‍රමාණයෙන් කුඩා බව්වෙක් විදියට තමයි අද අපි මෙයාලව දකින්නෙ.ඒකට හේතුව තමයි වික්ටෝරියා රැජිණට එයාගෙ අතේ තියාගන්න පුලුවන් ප්‍රමාණයේ පුංචි බව්වෙක් ඕනි වුණාලු.රැජිණගේ ළග මේ කුඩා ප්‍රමාණයේ පොමනේරියන්(Pomeranian) සුනඛයෙක් සිටීම නිසා “කුඩා ප්‍රමාණයේ සුනඛ වර්ගයන් “ලෝකය පුරාම ප්‍රචලිත වුණාලු.17 වැනි සියවසේ ඉදන් රාජකීයන් බොහෝ දෙනෙක් මෙම වර්ගයේ සුරතලුන්ට හිමිකම් කිව්වලු.අද වෙද්දි ඉතින් කුඩා සුනඛයින් වර්තමාන විලාසිතාවක් වෙලානෙ..
රෝයල් පෙට් කෙනෙක් නිසාද කොහෙද මේ බව්වන්ගෙ තාමත් පුංචි ආඩම්බර ගතියක් නම් තියෙනවා.වෙලාවකට කියන දේ අහනවා අඩුයි.ඒත් ඉතින් මේ දඟකාර හුරුබුහුටි බව්වො වැඩියෙන්ම කැමති සතුටින් ඉන්න.එහෙට මෙහෙට දුවන්න, සෙල්ලම් කරන්න හරිම උනන්දුයි.ඒත් ඉතින් එයාට හිතුණොත් පැත්තකට වෙලා කම්මැලියෙක් වගේ ලෝකෙ පෙරලුණත් මොකද කියලා හොඳටම නිදාගන්නවා.දන්නවද.. පුංචි ශබ්දයකටත් සංවේදී මෙයාලා හරිම සද්දෙට තමයි බුරන්නෙ.”තීව්ර කටහඬ” තමයි මෙයාගෙ හොඳම ආයුධය. වටපිටාව ගැන හරිම විමසිලිමත්.අනතුරක් හඳුනාගන්න හරිම දක්ෂයි.අනතුරු ඇඟවීමේ සුනඛ විශේෂයක් වෙන්නෙ මෙන්න මේ විමර්ශනෂීලී බවත් නොනවත්වාම බුරන හඬත් නිසයි.
දැන් අපි මේ පොමරේනියන්(Pomeranian) බව්වන්ගෙ පෙනුම ගැන ටිකක් හොයලා බලමු.මුලිනුත් කිව්වනෙ මෙයා ශරීර ප්‍රමාණයෙන් නම් ගොඩක් පොඩියි.වර්ණය ගැන කිව්වොත් නම් මුල්ම කාලෙදි සුදු පැහැයෙන් වගේම කලාතුරකින් දුඹුරු හෝ කළු පැහැයෙන් දක්නට ලැබුණා.වික්ටෝරියා රැජිනගෙ කුඩා රතු පොමරේනියන් බව්වා නිසා රතු පැහැය විලාසිතාවක් බවට පත් වුණාලු.ඒත් ඉතින් වර්තමානයෙ නම් විවිධ වර්ණ රාශියක් දකින්න පුලුවන්.සුදු, කළු, දුඹුරු, රතු, තැඹිලි, ක්‍රීම්, නිල්, කළු සහ දුඹුරු, පුල්ලි සහිත, වයිරම් වැටුණු මෙන්ම මෙම වර්ණයන්ගේ සංයෝගයන් ද දකින්න පුලුවන්.වැඩි වශයෙන් තැඹිලි,කළු හෝ සුදු,ක්‍රීම් වර්ණයන්ගෙ පොමරේනියන් පැටව් තමයි ඉන්නෙ.මාෂ්මෙලෝස් පැහැයට හුරු වූ ඇස්,නාසය හා පතුල් රෝස හා කළු පැහැ පුල්ලිමය රටාවකටත් වෙනස් වෙමින් පවතිනවා.කලිනුත් කිව්වා වගේ මේ ලෝම පිරුණු බව්වා ඇත්තටම පුලුන් බෝලයක් වගේ තමා.ඒ තරමට ලෝම පිරිලා.උඩු අතට පිහිටි ලෝම සහිත කෝමල වලිගයක් තමා පොමනේරියන් බව්වන්ට තියෙන්නෙ.
මේ පොමනේරියන්(Pomeranian) බව්වොත් double coated බව්වො විශේෂයක්. ඝනකම් ද්විත්ව ලෝම වැස්මක් තියෙනවා.දිනපතා ලෝම පීරා පිරිසිඳු කළ යුතුයි.පිටත ලෝම වැස්ම දිගින් වැඩි කැරළි නොගැසුණු රළු ස්වභාවයකින් යුක්තවන අතර ම අභ්‍යන්තර වැස්ම කෙටි සිනිඳු හා ඝනකම් ස්වභාවයක් ගන්නවා.අභ්‍යන්තර ලෝම වැස්ම වසර දෙකකට වරක් අලුත් වන අතර මෙසේ ලෝම ඉවත්වන කාලයේදී ඉතා පහසුවෙන් ලෝම ගැලවීමට හා ගැටගැසීමට ඉඩ තියෙනවා.
සෞඛ්‍යය ගැන විමසීමේදී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ගැටලුව වන්නේ,Luxating patella මෙන්ම Tracheal collapse මඟින්ද ගැටලු ඇතිවෙන්න පුලුවන්.patella රෝගී තත්වයේදී දණිස් කටුව නිවැරදි පිහිටි ස්ථානයේ රැඳී සිටීම සඳහා අස්ථියේ ඇති කට්ටය නොපිහිටීම හෝ එය පටු වීම නිසා දණිස් කටුව නියමිත පිහිටීමෙන් පිටතට පැණීමක් සිඳුවෙනවා. මේ හේතුවෙන් පාදය පොළොවෙන් ඉහළ පිහිටන අවස්ථාවේදී ග්‍රන්ථිය සිරවීමකට ලක්වෙනවා. ඒ වගේම මේ බව්වන්ගෙ ශ්වාස නාලයේ ඇතිවන බිඳවැටීමක් නිසා පෙනහලු දක්වා වාතය ගමන්ගන්නා වායු මාර්ගය අවහිර වෙනවා.මෙම තත්වය හඳුනාගැනීමේ රෝගී ලක්ෂණ ලෙස නලා හඬක් මෙන් ශබ්දයත් සමඟ ඇතිවන කැස්ස හඳුනාගන්න පුලුවන්.තවත් ගැටලුකාරී තත්වයක් තමයි නිතර සිඳුවන සිහි මුර්ජාවීම් සහ උණුසුම් කාලගුණය සමඟ උද්ගත වන කැස්ස. ඒ වගේම මහන්සිය හා කලබලය තවත් සුලබ රෝගී තත්වයන් විදියට දක්වන්න පුලුවන්.
බොහෝවිට කලාතුරකින් මේ බව්වන්ට “black skin disease” මුඩු බව / හම පෑදීම(alopecia) ලෙස හඳුන්වන සමේ රෝගයෙන් පීඩා විඳීමට සිඳුවෙනවා.මෙය ජාන මඟින් ඇතිවෙන රෝගී තත්වයක් නිසා මේ බව්වන්ගෙ හම කළු පැහැ ගැන්විලා සම්පූර්ණයෙන්ම නැත්නම් විශාල වශයෙන් ලෝම අහිමිවීමක් වෙන්නත් ඉඩ තියෙනවා.ශරීරය අඩු බරකින් යුක්තවීම නිසා ඇතිවෙන hip dysplasia තත්වය පොමරේනිය්න්(Pomeranian) බව්වන්ට විශේෂ තත්වයක්.සිරුරේ දත් කන් හා ඇස්වල පිරිසිදු බව කෙරෙහි අඩු අවධානයක් යොමු කළොත් නම් සෞඛ්‍යය ගැටළු බොහෝමයක් ඇති වීමට ඉඩ තියෙනවා.පිරිසිඳු බව හා ස්නානයට හුරුකරවීම වඩාත් වැදගත් වෙනවා.ඔබේ සුරතලාගෙ ශරීරයේ සිඳුවන යම් යම් වෙනස්කම් වගේම එයාට ඇතිවන අපහසුතා ගැන වැඩි අවධානයක් යොමු කරන්න මතක තියාගන්න.ඒ වගේම නියමිත කාලයට එන්නත්කරණය කරන්නත් අමතක කරන්න එපා.පශු වෛද්‍යවරයෙක්ගේ නිරන්තර පරීක්ෂාවට ඔබේ සුරතලාව යොමු කරන්නත් අනිවාර්යෙන් මතක තියාගන්න.ඒක නිරෝගී බව්වෙක්ගෙ යහපැවැත්මට හොඳ පියවරක්.
දැන් අපි බලමු මේ පොමරේනියන්(Pomeranian) බව්වො ඔයාගෙ පවුලෙ අයත් එක්කන් කොහොමද ගනුදෙනු කරන්නෙ කියලා.මෙයාලා ගොඩක් මිත්‍රශීලී බව්වො වර්ගයක්.පවුලට හොඳම මිතුරෙක්.වඩාත් සජීවී ව පවුලේ අයත් සමඟ කටයුතු කරන්නෙක්.මොවුන් තමාගේ ස්වාමියා එක්කම පැය විසි හතරම ගෙවන්නයි කැමති.ඒ වගේම තමන්ගෙ ස්වාමියාට හොඳ ආරක්ෂකයෙක්.ඉතාම ඉක්මනින් ළෙංගතු බැඳීමකට මුල පුරන පොමරේනියන් බව්වො ඉක්මනින්ම හිත රිද්දගන්න තරම් බොළඳයි.එයාව හුදකලා වුණොත් නම් ඉක්මනින්ම සාංකාවට ලක්වෙනවා. දවස් ගාණක් මෙයාව තනියම තියන එක නම් එයාට ලොකුම ලොකු හානියක්.තනිව ඉන්න පුහුණු කිරීමකුත් ඕනි වෙනවා.තම අවට වටපිටාව ගැන සුපරීක්ෂාකාරී වෙන අතරම ග්‍රහණය වන උත්තේජනයන් වෙත ක්ෂණයෙන් ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේ තීව්ර හඬින් බුරමින්.පිටතින් ඇසෙන ඕනෑම හඬකට බුරන්නත් මෙයාලා පුරුදු වෙලා ඉන්නවා.ඒ වගේම මෙයාලා ගොඩක් බුද්ධිමත්.පුහුණු කිරීම් වලදී ප්‍රතිචාර දැක්වීම විශිෂ්ටයි.එයාට ඕනි දේවල් තමන්ගෙ ස්වාමියාගෙන් දිනාගන්නත් හරි හපනෙක්.නිසි පුහුණුවක් නොලැබුණොත් සමහරවිට අතිශය ආක්‍රමණශීලී වගේම හිතුවක්කාරයෙක් වෙන්නත් බැරි නෑ…කොහොම වුණත් පොමරේනියන්ස්ලා අද වෙද්දි ලෝකයේ ජනප්‍රියම සුරතල් සුනඛ විශේෂයක් කිව්වොත් නිවැරදියි.